නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මෙතෙක් නිසි සූදානමක් රජයට නොමැති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ගුරු පුහුණුවීම් කටයුතු ද මෙතෙක් නිසි පරිදි අවසන් කර නොමැති බවයි.
ලබන වසරේ සිට පළමු ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබුණද, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. මෙම ප්‍රතිසංස්කරණ යනු පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක නොකර අතහැරුණු ප්‍රතිසංස්කරණවල දිගුවක් පමණක් බවත්, ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිසමට මේ සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට නියෝග කළද එය තවමත් ජනතාව අතරට පැමිණ නැති බවත් ඔහු පවසයි. පවතින අධ්‍යාපන අර්බුදවලට විසඳුම් නොලැබෙන මෙგැනි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය නැවත සිතා බැලිය යුතු බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.















