ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පැවරුණු තෙල් ටැංකි 24 අතුරින් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව එම සංස්ථාව පවසයි. මෙම ටැංකිවල ක්‍රියාකාරීත්වය සහ භාවිත කළ හැකි මට්ටම පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ මට්ටමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේය.
ඉතිරි ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ, තවත් තෙල් ටැංකි 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය දැනට ලංසු ඇගයීම් මට්ටමේ පවතින බවයි. මෙම ටැංකි සංවර්ධන කටයුතුවලට සමාන්තරව ත්‍රිකුණාමලය වරායේ නව ජැටියක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර, දැනට සංවර්ධනය කර ඇති ටැංකි දෙකේ සහ ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත ටැංකි තුනෙහි වාණිජ කටයුතු ආරම්භ කරනු ලබන්නේ එම නව ජැටියේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසුවය. මෙම ටැංකි පහ ප්‍රධාන වශයෙන් විදේශයන් වෙත ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
















