ජනතාවගේ බදු මුදල්වලින් මහා භාණ්ඩාගාරය පිරී තිබුණත් ආණ්ඩුව ඒවායින් කිසිදු සහනයක් ජනතාවට ලබාදෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (31) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. මීට වඩා වැඩි මුදලකින් ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද එය සිදු කර නැති බවද ඔහු පෙන්වා දී ඇත.
සමගි ජන බලවේගයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, මැතිවරණ පොරොන්දු ලබාදී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ගතවූ වසර දෙක තුළ ජනතාව මත පටවා ඇති බදු ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවයි. මේ වන විට රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර, උද්ධමන වේගය සියයට 7.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජනතාවගේ වැටුප් ඉහළ නොගියද භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් පහළ වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














