පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315 සඳහා විදුලිය සහ පානීය ජල පහසුකම් සහිත නිවෙසක් හා ඉඩමක් ලබා දී, සූර්ය විදුලි බලයෙන් ක්‍රියාත්මක උස්සාන වාරිමාර්ග මඟින් සුහුරු කෘෂිකාර්මික වගා සඳහා ඔවුන් යොමුකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
පසුගිය 29 වනදා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, ව්‍යාපෘති කටයුතු කඩිනම් කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේය. 2029 වසරේ අගභාගයේදී නිම කිරීමට නියමිත මෙම ජලාශය අක්කර අඩි 169,400ක ජල ධාරිතාවකින් සමන්විත වන අතර, එය ඉදිකිරීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වනු ඇත. මෙමඟින් මන්නාරම සහ සහල්නැළිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 40,000කට යල මහ දෙකන්නයේම වගා කිරීමට ජලය ලැබෙන අතර අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම ජනතාවගේ පානීය ජල ගැටලුවට ද ස්ථීර විසඳුමක් හිමිවේ.














