සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමෙන් මෙම බිම් මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අද පෙරවරු 09.00 ට ආරම්භ වන අතර, මීට සමාන්තරව දිස්ත්‍රික් මට්ටමින් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පියවර ගෙන තිබේ. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ දිගුකාලීනව පවතින ගැටළු විසඳමින්, රෝහල් මත පවතින අනවශ්‍ය පීඩනය අවම කිරීම සහ ග්‍රාමීය මට්ටමින් ප්‍රජා සෞඛ්‍ය සේවා විධිමත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය ජාතික මට්ටමින් අතිශය තීරණාත්මක පියවරක් ලෙස සැළකේ.
විශේෂයෙන්ම මෙරට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බෝ නොවන රෝග පාලනය කිරීම සහ මුල් අවධියේදීම හඳුනාගෙන වැළැක්වීමේ සත්කාරයන් වෙත ප්‍රමුඛත්වය ලබා දීම මෙම සුවතා මධ්‍යස්ථාන ජාලයේ මූලික අපේක්ෂාව වී තිබේ. නාගරීකරණයට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රජාව වෙතද උසස් ප්‍රමිතියෙන් යුත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සමීප කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමටත්, අනාගතයේදී රටට එල්ල විය හැකි බරපතල සෞඛ්‍යමය අභියෝග සාර්ථකව ජය ගැනීමටත් මෙමඟින් ශක්තිමත් පදනමක් වැටෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයුම් දාමයේ මූලික හැඩතල සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට ලක්වනු ඇති අතර, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය මට්ටමේ සේවා දායකත්වය වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කරගනිමින් ජනතාවගේ මූලික සෞඛ්‍ය අයිතීන් තහවුරු කිරීම සඳහා රජය ගෙන යන මෙම ප්‍රයත්නයට සමගාමීව, ඉදිරි කාලය තුළ දිවයින පුරා විසිරී ඇති සුවතා මධ්‍යස්ථාන ජාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් දැඩි නිරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත.














