තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අදාළ ක්‍රීඩාංගණවල වත්මන් තත්ත්වය සහ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා සිදුකළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම සංවර්ධන පියවර අනාවරණය කෙරිණි. ප්‍රාදේශීය මට්ටමින් පවතින වෙනස්කම් හා අඩුපාඩු හේතුවෙන් දක්ෂතා තිබියදීත් ජාතික මට්ටමට පැමිණීමට නොහැකි වූ ග්‍රාමීය ක්‍රීඩකයන්ට සාධාරණත්වය ඉටුකිරීම මෙහි මූලික අපේක්ෂාව වී ඇති අතර, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් සහ ක්‍රීඩා සංවිධායකයන්ගේ සහභාගීත්වයෙන් පුළුල් සාකච්ඡා පවත්වන ලදී.
අඩ්ඩාලච්චේන ක්‍රීඩාංගණයේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමටත්, අක්කරෙයිපත්තුව පොදු ක්‍රීඩාංගණය සඳහා නව ප්‍රේක්ෂකාගාරයක් ඉදිකිරීමටත් මෙන්ම අක්කරෙයිපත්තුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකයේ පවතින ගැටලු නිරාකරණය කිරීමටත් මෙහිදී තීරණය කර ඇත. උතුර, දකුණ හෝ නැගෙනහිර යන භේදයකින් තොරව දිවයින පුරා සියලුම දක්ෂ ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණු පහසුකම් ලබාදීමට රජය ගන්නා මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුළුල් පිබිදීමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















