ශ්‍රී ලංකාවට ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සහ අපනයන ආදායම ක්‍රමානුකූලව ඉහළ නැංවීම අරමුණු කරගත් “Ceylon King Coconut Villages” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන සමාරම්භක උත්සවය හෙට (02) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ප්‍රදේශයේදී පැවැත්වේ. ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින පසුබිමක, මෙරට කෘෂි ආර්ථිකය නව මානයකට රැගෙන යමින් මෙම ව්‍යාපෘතිය යටතේ හෙට දිනයේදීම තැඹිලි ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතය.
ලෝක පොල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් මෙම පුළුල් ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ක්‍රමානුකූලව ස්ථාපිත කිරීම හරහා ප්‍රාදේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවෙන අතරම, ග්‍රාමීය වගාකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය සඳහා ශක්තිමත් පදනමක් සැපයීම මෙම රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ.
මෙම ජාතික වැඩපිළිවෙළ දිගුකාලීනව මෙරට කෘෂිකාර්මික අපනයන ව්‍යුහය විවිධාංගීකරණය කිරීමටත්, විදේශ විනිමය ඉපැයීමේ ප්‍රභවයන් ශක්තිමත් කිරීමටත් සෘජුවම දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි මූලික අදියරේ සාර්ථකත්වය මත පදනම්ව, ඉදිරි කාලය තුළ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි ව්‍යාපෘතිය පුළුල් කිරීම හරහා ග්‍රාමීය ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමේ ජාතික ඉලක්කය කරා ළඟා වීමට රජය අපේක්ෂා කරයි.
















