වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් නිතර ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, දැරියගේ මව විදේශගතව සිටි කාලය තුළ ඇය පදිංචිව සිටි නිවසේම පවුලේ සාමාජිකයන් සමඟ එකට වාසය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දැරියගේ පියා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, විදේශගතව සිටි මව පසුගිය මස 01 වැනිදා මෙරටට පැමිණීමෙන් පසු නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ට නිරන්තරයෙන් ලිංගික අතවර කළ බව දැරිය මවට පවසා තිබේ. ඒ අනුව මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අතවරයට පත් දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මාදම්පේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















