දිවයින පුරා පවතින එල් නිනෝ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් ගෙවීමේ කඩිනම් වැඩපිළිවෙළක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වී සහ බඩඉරිඟු ඇතුළු බෝග ගණනාවකට දැඩි හානි සිදුව ඇති අතර, ගොවීන් 7,000කට ආසන්න සංඛ්‍යාවකට අයත් අක්කර 8,000ක පමණ ප්‍රමාණයක් මේ වන විටත් හඳුනාගෙන ඇත. ඉදිරි කන්නය ආරම්භ වීමට පෙර වන්දි මුදල් ලබාදීම රජයේ අරමුණ වී ඇති අතර, වී, බඩඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් 100,000ක මුදලක් බැගින් එක් ගොවියෙකුට උපරිම අක්කර 5ක් දක්වා මෙම වන්දි හිමිවේ. තවදුරටත් වගා හානි දන්වා නැති ගොවීන් වෙතොත් ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත්, වැඩි විස්තර සඳහා 1918 කෙටි ඇමතුම් අංකය අමතන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.














