සැකකටයුතු ලෙස මියගිය ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරයි.
මියගිය අයගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොමැති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර, මරණයට හේතුව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා ශරීර කොටස් වැඩිදුර විමර්ශන උදෙසා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි චූලා පද්මේන්ද්‍ර, පිළියන්දල තුම්බෝවිල පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී පසුගිය 31 වනදා හමුවිය. බත්තරමුල්ලේ පැවැති උත්සවයකින් පසු අලුයම 5.00ට පමණ අදාළ නිවසට පැමිණ නින්දට ගොස් ඇති ඇය, දහවල් වන තෙක් අවදි නොවීම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් ඇති බව තහවුරු වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය සහ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හරහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














