ජාතික ආර්ථිකයට උතුරු පළාතෙන් දැනට ලැබෙන 4.6%ක දළ දේශීය නිෂ්පාදිත (GDP) දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් මහතා ප්‍රකාශ කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කොව්ලින් මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් සමඟ යාපනයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේ, කන්කසන්තුරේ (අක්කර 250 – ඇඟලුම් හා IT), පරන්තන් (අක්කර 230 – රසායනික හා කාර්මික) සහ මාන්කුලම් (අක්කර 500 – කෘෂි හා ධීවර අපනයන) යන ප්‍රදේශවල නව ආයෝජන කලාප 3ක් පිහිටුවීමට ඉඩම් පවරාගැනීමේ කටයුතු ඇරඹී ඇති බවයි. මීට අමතරව, ගොවීන් සහ ධීවරයන් මුහුණ දෙන නිසි ගබඩා හා සැකසුම් පහසුකම් නොමැතිවීමේ ගැටලුවට විසඳුම් ලෙස යටිතල පහසුකම් සංවර්ධනයට ADB සහාය ඉල්ලා සිටි ආණ්ඩුකාරවරයා, අලිමංකඩ සහ කුරින්චාතිවු ලේවායන් හරහා ලුණු ආනයනය නතර කර අපනයන මට්ටමට රට ගෙන ඒමටත්, 2012 දී වනජීවී/වනසංරක්ෂණ අංශවලට පවරාගත් ඉඩම් නිදහස් කිරීමටත් කටයුතු යොදමින් සිටින බව වැඩිදුරටත් පැහැදිලි කළේය.














