යාල ජාතික වනෝද්‍යානයේ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතිය අක්‍රිය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත්, වනෝද්‍යානයේ ප්‍රධාන ජල නළ පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් වනසතුන් සඳහා ජලය සපයන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා සඳහන් කළේ, වියළි කාලගුණය හමුවේ යාල, කුමන, විල්පත්තුව, උඩවලව, බූන්දල සහ කවුඩුල්ල ඇතුළු ජාතික වනෝද්‍යානවල ජලාශ වෙත ජලය පිරවීමේ දීර්ඝකාලීන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. දැනට ප්‍රධාන ජල පද්ධතියට සමාන්තරව ක්‍රියාත්මක වන අනු-ජල නළ පද්ධතියක (Sub-water pipeline system) එක් ජල පම්පයක නඩත්තු කටයුතු පමණක් සිදුවන බවත්, පලාටුපාන මූලස්ථානයට සහ වනසතුන්ට අවශ්‍ය ජලය ප්‍රධාන පද්ධතිය මගින් බාධාවකින් තොරව ලැබෙන බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.














