22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මහතා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවයි. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථාමය කරුණු සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කෙරෙන බවත්, පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කරන බවත් පැවසූ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.













