ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් පුළුල් කරමින් දෙරට අතර බෞද්ධ, ආගමික සහ සංස්කෘතික සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වියට්නාමයේ හැනෝයි (Hanoi) නුවරදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ වියට්නාමයේ ජනවාර්ගික සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී න්ගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai Trung) මහතා අතර මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතික ලක්ෂණ පිළිඹිබු වන චෛත්‍යයක් වියට්නාමයේ ඉදිකිරීමට ඇති කැමැත්ත ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාවෙන් වියට්නාමයට වැඩම කරවන ලද පූජනීය බෝධීන් වහන්සේලා දෙරටේ සදාතනික මිත්‍රත්වයේ සංකේතයක් බව වියට්නාම නියෝජිතයෝ සඳහන් කළහ. මීට අමතරව භික්ෂූන් වහන්සේලා හුවමාරු කරගැනීම සහ බෞද්ධ අධ්‍යයන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ද දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණියහ.















