ආහාර සැකසුම්, ඇසුරුම්කරණ සහ කෘෂිකාර්මික අංශය ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික ප්‍රදර්ශනය වන “ProFood ProPack & AgBiz 2026” හි 23 වන සංස්කරණය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස අවසන් වී ඇති අතර, දේශීය හා විදේශීය කර්මාන්ත පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් අතිවිශාල නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම තෙදින ප්‍රදර්ශනය හරහා මෙරට ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන කෘෂිකාර්මික හා ආහාර සැකසුම් අංශයේ නවෝත්පාදනයන් සහ තාක්ෂණික ප්‍රගතිය ජාතික මට්ටමින් තවදුරටත් තහවුරු කරනු ලැබීය.
ප්‍රදර්ශන ශාලා හයකින් සහ ප්‍රදර්ශන කුටි 450කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ මෙම ප්‍රදර්ශනය තුළ, රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල 14ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ නවෝත්පාදන මණ්ඩපය හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර අත්‍යවශ්‍ය සබැඳියාව මනාව ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ සේවා (LECS) ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වේදිකාව, ව්‍යවසායකයින්ට මෙන්ම කර්මාන්ත වෘත්තිකයන්ට නව වෙළඳපල අවස්ථා සහ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට පුළුල් පසුබිමක් සකසා දුන්නේය.
මෙරට කර්මාන්ත අනාගතය හැඩගැස්වීමේ අරමුණින් හඳුන්වා දුන් “SLFPA Career Connect” වැඩසටහන හරහා තරුණ වෘත්තිකයන්, උපාධිධාරීන් සහ සීමාවාසිකයන් සේවා යෝජකයන් සමඟ සෘජුව සම්බන්ධ කිරීමට හැකිවීම වත්මන් ශ්‍රම වෙළඳපොළට ලැබුණු මහත් පිටුවහලක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. ගෝලීය තරගකාරීත්වය හමුවේ දේශීය ආහාර සහ කෘෂිකාර්මික අංශය නවීන තාක්ෂණයෙන් සහ නිවැරදි කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා මෙවැනි ප්‍රදර්ශන හරහා ලබාදෙනු ලබන දායකත්වය ඉදිරියේදී මෙරට ආර්ථික සංවර්ධනයට සුවිශේෂී බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කෙේ.














