නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DR Congo) සීඝ්‍රයෙන් පැතිර යන ඉබෝලා වයිරසය මීළඟට ව්‍යාප්ත විය හැකි ප්‍රදේශ පූර්ව නිගමනය කිරීම සහ ජනගහන චලනයන් සිතියම්ගත කිරීම සඳහා නිර්නාමික ජංගම දුරකථන දත්ත (Anonymised mobile-phone data) භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ පර්යේෂකයන් පියවර ගෙන තිබේ.
ඉතිහාසයේ වේගයෙන්ම පැතිර යන ඉබෝලා ව්‍යාප්තිය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වන මෙම වසංගතය, මැයි 15 වැනිදා සිට මේ දක්වා පළාත් 6ක පුද්ගලයන් 6,250කට වැඩි පිරිසකට වැළඳී ඇති අතර මරණ 3,039ක් වාර්තා වී ඇත. මෙවර පැතිර යන්නේ Bundibugyo නමැති ඉබෝලා වෛරස් මාදිලිය වන අතර, ඒ සඳහා අනුමත කළ එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැත. ස්වීඩනයේ ‘Flowminder’ නමැති රාජ්‍ය නොවන සංවිධානය, කොංගෝවේ ප්‍රධානතම විදුලි සංදේශ සමාගම වන Vodacom ලබාදෙන ජංගම දුරකථන කුළුණු සම්බන්ධතා දත්ත විශ්ලේෂණය කරමින් ජනතාව අවදානම් සහිත ප්‍රදේශවල සිට ගමන් කරන මාර්ග හඳුනා ගනී. එමගින් Kisangani සහ අගනුවර වන Kinshasa වැනි ප්‍රධාන නගර වෙත වෛරසය පැතිරීමේ අවදානම කලින් හඳුනාගෙන සෞඛ්‍ය ආරක්ෂණ මෙහෙයුම් තර කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබේ.














