මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ. කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන්ම සයිබර් අපරාධ, නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ මූල්‍ය වංචා මැඩලීම සඳහා පොලීසිය ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා වූ අතර, නීතිවිරෝධී සූදු වෙබ් අඩවි අවහිර කිරීමටත්, මෙරට රැඳී සිටිමින් සයිබර් අපරාධවල නිරත වූ විදේශිකයන් තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් පිටුවහල් කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ. සයිබර් අපරාධ විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගනිමින් විදේශීය පුහුණුවීම් ලබා දී ඇති අතර, මූල්‍ය වංචා සහ ක්‍රිප්ටෝ මුදල් අපරාධ මැඩලීම සඳහා කාලීන මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමට පියවර ගනිමින් සිටින බවද අනාවරණය විය. මීට අමතරව, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු ආරක්ෂා කර ගැනීමේ සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.














