කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇත.ෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන), සහකාර අධ්යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇති අතර, වාහන අවභාවිතය, නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, නිල නිවාස දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සහ රජයට රුපියල් කෝටි තිහක (මිලියන 300ක) පමණ මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට එහි සඳහන් වේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායකවරයාගේ නිල නිවාස, වාහන, ඉන්ධන, ආහාර පාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩල විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සහ ලිපි ලේඛන වහාම ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර තිබේ.














