රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබේ. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ඇතුළු පාර්ශ්ව 15ක් විසින් පෙත්සම් ගොනු කර තිබුණි.
ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් දින දෙකක් තිස්සේ විභාග වූ අතර, අද (04) දින වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් විය. අදාළ සංශෝධිත පනත් කෙටුම්පත මඟින් අධිකරණ බලය කප්පාදු වීමක් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින්, එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.














