එළඹෙන මහකන්නයේ වගා කටයුතු නිසි පරිදි සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු අංශ සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන සැප්තැම්බර් 08 වන දින පවත්වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
එම සාකච්ඡාවේදී එළඹෙන තීන්දු තීරණ මත පදනම්ව, ලබන 18 වනදා සියලු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් මහකන්නයේ වගා කටයුතු ආරම්භ කරන නිශ්චිත දින වකවානු සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙවර මෙරටට බලපා ඇති එල්-නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හමුවේ වර්ෂාපතන රටාවේ සිදුවිය හැකි වෙනස්කම් සලකා බලමින්, සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සෘජුවම සම්බන්ධ කර ගනිමින් මෙවර වගා සැලසුම් සකස් කිරීමට කටයුතු යොදා ඇත.














