නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම මෙට්‍රෝ බස් සේවයේ මූලික අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කර තිබේ.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේය. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීම අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, මෙය හුදෙක් අලුත් බස් රථ හඳුන්වාදීමක් පමණක් නොව, මගීන්ට සැපපහසුකම් සපයන, මගීන් ගැන සිතන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිටින, ආරක්ෂාව සහ ප්‍රියමනාප භාවය මුල් කරගත් නව ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීමේ පුළුල් සංකල්පයක් බවයි. තනි පුද්ගලයින් ගමන් කරන මෝටර් රථ වෙනුවට මෙම පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට ජනතාව යොමු කරවීම මෙහි අවසාන අපේක්ෂාව බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















