ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට අඛණ්ඩව දරන දායකත්වය සනිටුහන් කරමින් ලංකා IOC (Lanka IOC PLC) සමාගම සිය මෙහෙයුම් කටයුතුවල 25 වන වසර හෙවත් රිදී ජුබිලි වසර ආරම්භය වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙළෙඳ කුටියේදී වෙළෙඳපොළ විවෘත කිරීමේ විශේෂ සීනුව නාද කර තිබේ.
ඉන්දීය ඔයිල් කෝපරේෂන් (Indian Oil Corporation) හි ශ්‍රී ලංකා අනුබද්ධ ආයතනයක් ලෙස 2002 වසරේදී ස්ථාපිත කරන ලද ලංකා IOC සමාගම, පසුගිය වසර 24 පුරා දිවයින පුරා විහිදුණු ඉන්ධන පිරවුම්හල් ජාලයක්, ලිහිසි තෙල් ව්‍යාපාරයක් සහ බංකරින් මෙහෙයුම් හරහා මෙරට බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධානීන් සහ ලංකා IOC කළමනාකාර අධ්යක්ෂ රඝු ක්රෂ්ණමූර්ති (Raghu Krishnamoorthy) ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවත්සර උත්සවය පවත්වන ලදී. රටේ ආර්ථික සංවර්ධනයට සහ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ඉදිරියටත් නවීන තාක්ෂණය හා තිරසාර භාවිතයන් සමඟ දායක වන බව සමාගම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















