Colombo International Airport Hotel හි සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ “Little Japan” සංකල්පය යටතේ ශ්රී ලංකාවට පැමිණි ජපන් සංචාරකයින් 250කට අධික පිරිසක් දින පහක සංචාරයකින් අනතුරුව අද (04) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පසුගිය අගෝස්තු 30 වැනිදා මෙරටට පැමිණි මෙම පිරිස, ජපානයෙන් එකවර මෙතරම් විශාල සංචාරක කණ්ඩායමක් ශ්රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව බව සංවිධායක පාර්ශ්වය සඳහන් කරයි.
දින පහක් පුරා ශ්රී ලංකාවේ සුවිශේෂී ස්ථාන රැසක සංචාරය කළ මෙම ජපන් සංචාරකයින්ට මෙරට සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිව තිබේ. එමෙන්ම ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද ඔවුන් අවධානය යොමු කළ බව ආචාර්ය රුවන් පෙරේරා මහතා සඳහන් කළේය.
“Little Japan” සංකල්පය හරහා ජපානය සහ ශ්රී ලංකාව අතර සංචාරක හා ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සිය අපේක්ෂාව බව ආචාර්ය රුවන් පෙරේරා මහතා පවසයි. මෙවැනි වැඩසටහන් ඔස්සේ ජපන් සංචාරකයින් ශ්රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීම මෙන්ම දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
















