ජපානයේ ජනගහනය වේගයෙන් අඩුවීම සහ ශ්‍රම බලකාය හැකිළීම හේතුවෙන් පවතින ස්වයං ආරක්ෂක හමුදා සාමාජික හිඟයට විසඳුමක් ලෙස විදේශිකයන් හමුදාවට බඳවා ගැනීම සලකා බලන්නැයි යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ටෝකියෝහි සාසකවා සාම පදනම විසින් සැප්තැම්බර් 2 වැනිදා ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ජපානය සමඟ මිත්‍ර සහ සමීප සබඳතා ඇති රටවල ස්ථිර පදිංචිකරුවන් හමුදාවට බඳවා ගැනීම එහිදී සලකා බලන ලෙස යෝජනා කර ඇත. කෙසේ වෙතත්, විදේශික සාමාජිකයන්ට සටන් කාර්යයන්, රාජ්‍ය බලතල සහිත තනතුරු සහ සංවේදී රහස්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීම වැනි දේ සීමා කිරීමට ද යෝජනා කර ඇති අතර, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල පවතින ක්‍රමවේදයන්ගෙන් ආභාසය ලබා මෙම අදහස ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව, ජපානයේ ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය නිෂ්පාදන පහසුකම් විවිධ ප්‍රදේශවලට විසිරුවා හැරීම සහ වැදගත් යටිතල පහසුකම් භූගත කිරීම වැනි යෝජනාද මෙම වාර්තාවට ඇතුළත් වේ. හිටපු ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් සකස් කර ඇති මෙම යෝජනා, ජපානයේ මූලික ජාතික ආරක්ෂක ලේඛන නැවත සංශෝධනය කිරීමේදී සලකා බැලීමට ඉඩ ඇති බව සඳහන් වේ.














