ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු තිරසර විසඳුම් කරා එළඹීමේ ජාතික අවශ්‍යතාව සපුරාලමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්ෂේත්‍ර මෙහෙයුම් වෙනුවෙන් වාහන 294ක් එකවර ලබා දීමට පියවර ගෙන තිබේ. ක්ෂේත්‍ර මට්ටමේ ගැටුම් කළමනාකරණයේදී මෙතෙක් පැවති මානව හා භෞතික සම්පත් හිඟයට ප්‍රායෝගික විසඳුමක් ලෙස මෙම යතුරුපැදි ලබාදීමේ පළමු අදියර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.
අම්පාර, පුත්තලම, පොළොන්නරුව සහ මාතලේ යන කලාප ආවරණය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත පියතිස්ස, ඇන්ටන් ජයකොඩි සහ ටී.බී. සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අදාළ යතුරුපැදි නිලධාරීන් වෙත බෙදා දී තිබේ. මෙම පහසුකම හරහා අලි ගම්වැදීම් පිළිබඳ තොරතුරු ලැබුණු විගස දුෂ්කර මාර්ග ඔස්සේ වුවද ඉතා කෙටි කාලයකින් අදාළ ස්ථාන වෙත ළඟාවීමටත්, ගැටුම් බහුල ප්‍රදේශවල දෛනික මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් විධිමත්ව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත සහ වගාබිම් ආරක්ෂා කිරීමටත් නිලධාරීන්ට හැකියාව ලැබෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
















