රාජකාරී කටයුතු අධික වීම හේතුවෙන් ඇති වූ පීඩනය තවදුරටත් දරාගත නොහැකි බව පවසමින්, පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා දෙහිවල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයෙකු සේවය අතහැර ගොස් තිබේ. අනෙකුත් නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් ලබාදී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් දී ඇත.
පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහ අධීක්ෂක සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අදාළ පොලිස් පරීක්ෂකවරයා සේවය අතහැර යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, අදාළ නිලධාරියාට නොතීසියක් නිකුත් කරන ලෙස සහ ගුවන් ගමන් තහනමක් පනවන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අපරාධමය චෝදනාවක් සම්බන්ධයෙන් අනාවරණය වන්නේ නම් ඒ බව මේ මස 24 වැනි දින දැනුම් දෙන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇත.
















