ජාතික කජු ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණ සහයෝගය ලබාදීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සූදානම් වන අතර, ඒ සඳහා වූ මූලික පියවරක් ලෙස වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 4ත් 5ත් අතර ප්‍රමාණයක් වුවද, වෙනත් රටවල නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා කිලෝග්‍රෑම් 20ක පමණ අස්වැන්නක් ලබාගත හැකි මට්ටමකට දියුණු කර ඇති බව මෙහිදී අනාවරණය විය. රට තුළ වාර්ෂිකව පැල මිලියනයක පමණ අවශ්‍යතාවක් පැවතියද නිෂ්පාදනය කෙරෙන්නේ පැල ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයක් බැවින්, ඉදිරි වර්ෂ 10 සඳහා අවශ්‍ය බද්ධ පැල ඇතිකිරීමට විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය බව පෙන්වා දී ඇත. නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, පර්යේෂණ පරතරයන් පියවීම සහ පටක රෝපණ ප්‍රචාරණය සඳහා අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල සහය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කරමින් වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය (germplasm) ආනයනය කිරීමේ යාන්ත්‍රණයන් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
















