වර්තමාන රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ පුරවැසි අයිතිවාසිකම් ක්‍රමයෙන් සංකෝචනය කරමින් රට මෘග ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවති ගොවි හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, යෞවන සමාජ නිලවරණවල සිට සිවිල් ආරක්ෂක කමිටු සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා වන ක්‍රියාමාර්ග ඔස්සේ රජය තනි මතයට රට පාලනය කිරීමට උත්සාහ කරන බව අවධාරනය කළේය.
බලයට පත්වීමට පෙර ලබා දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති වත්මන් පාලනය, මැතිවරණ වේදිකාවේ දුන් සහන වෙනුවට ජනතාව තවදුරටත් අමාරුවෙන් පවත්වාගෙන යන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ගෑස් සහ ඉන්ධන මිලෙහි සිදුකරන අඩුකිරීම් හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බවත්, ගොවි ජනතාවගේ මූලික ජීවනෝපාය වන හේන් ගොවිතැන් ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයම මේ වන විට දැඩි අර්බුදයකට සහ කඩා වැටීමකට ලක්ව ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
රටේ පවතින මෙම අත්තනෝමතික පාලන තන්ත්‍රයට සහ ජනතා විරෝධී තීන්දු තීරණවලට එරෙහිව සියලු පුරවැසියන් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව විපක්ෂ නායකවරයා ජනතාවට කැඳවුම් කර ඇත. ඉතිහාසයේ බලවත් යැයි සිතූ ආණ්ඩු පවා මහජන බලය හමුවේ කඩාවැටුණු ආකාරය සිහිපත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අයිතීන් රැක ගැනීම වෙනුවෙන් පාරට බසින ලෙස ඔහු මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














