ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට (සැප්තැම්බර් 07) ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී පැවැත්වීමට නියමිතය.
සමුළුවේ වත්මන් සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද (සැප්තැම්බර් 06) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. හෙට දින සිට එළැඹෙන 10 වැනි දින දක්වා පැවැත්වෙන මෙම සැසිවාරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. පසුගිය 2025 වසරේ කොළඹදී පැවැති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, නව සභාපතිවරයා තෝරා පත් කර ගන්නා තෙක් එම ධුරයේ කටයුතු කරනු ඇත.
විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම සහ ‘ඩිලි ප්‍රකාශනය’ සම්මත කර ගැනීම මෙවර සමුළුවේදී විශේෂ අවධානයට ලක්වන ප්‍රධාන කරුණු වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක්ද මෙම නියෝජිත පිරිසට ඇතුළත් වෙති.














