අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමයේ අනුග්‍රහය යටතේ, සංජානනීය හෘද ආබාධ සහිත පාසල් සිසුන් වෙනුවෙන් සිදුකළ ඇට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් (ASD) හෘද සැත්කම් 100ක සන්ධිස්ථානයක් සාර්ථකව පසුකර යාමට ආසිරි සෙන්ට්‍රල් රෝහල සමත්ව තිබේ. මූල්‍යමය අපහසුතා හේතුවෙන් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව සිටි දිවයිනේ නන් දෙසින් පැමිණි දරුවන් 100 දෙනෙකුට මෙමඟින් කිසිදු මූල්‍ය බාධාවකින් තොරව උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
ප්‍රතිකාර නොකළහොත් දරුවෙකුගේ ශාරීරික වර්ධනයට මෙන්ම සමස්ත ජීවන තත්ත්වයටම දැඩි බලපෑම් එල්ල කළ හැකි ‘හදවතේ සිදුරක්’ ලෙස හැඳින්වෙන මෙම සංජානනීය තත්ත්වය සඳහා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ලබාදුන් සාර්ථක විසඳුමක් ලෙස මෙම සන්ධිස්ථානය දැක්විය හැකිය. ලේඩි රිජ්වේ ළමා රෝහලේ සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හෘද උරස් ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය එම්.එස්. මුගුන්තන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ කැපවූ හෙද කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්, අති නවීන තාක්ෂණික පහසුකම් සහිතව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් රෝග විනිශ්චයේ සිට පශ්චාත් ශල්‍යකර්ම පුනරුත්ථාපනය දක්වා සුවිශේෂී සේවාවක් සපයා ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය මෙරට තෘතීයික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මෙන්ම මතුපිටට පෙනෙන අභියෝග මැද වුවද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා ජනතාවට අර්ථවත් ප්‍රතිඵල අත්කර දිය හැකි බවට කදිම නිදසුනකි. ඉදිරියටත් මෙවැනි විශේෂිත සායනික සේවා පුළුල් කරමින් සහ නවීන වෛද්‍ය තාක්ෂණයන් සඳහා ආයෝජනය කරමින්, දිවයිනේ අසරණ දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ජාතික මට්ටමේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමට ආසිරි සෙන්ට්‍රල් රෝහල දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටී.














