ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූවායි කියන බරපතළ කොමිස් මුදල් ගනුදෙනුවට අදාළව, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ. එයාර්බස් සමාගමෙන් ලත් අල්ලස් මුදල් අතරින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් (රුපියල් මිලියන 100ක් පමණ) තමන් වෙත නාමල් රාජපක්ෂ මහතා ලබාගත් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ සිට ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයක් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ සහතිකයක් පදනම් කරගනිමින් මෙම නියෝගය නිකුත් වී ඇත.
අධිකරණයේදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ, ප්‍රශ්නගත ගනුදෙනුවේදී එයාර්බස් සමාගමෙන් නිමල් පෙරේරා මහතාට අයත් ‘Sabre Vision Holding Ltd’ සමාගමේ සිංගප්පූරු ගිණුමකට බැර වූ ඩොලර් ලක්ෂ 8ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවයි. තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් ප්‍රකාශ ලබාදෙන බව නිමල් පෙරේරා මහතා දැනුම් දී ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක ඕස්ට්‍රේලියාවේ සිට අත්අඩංගුවට ගැනීමටත්, ශමීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා ඇමෙරිකාවේ සිට අත්අඩංගුවට ගැනීමටත් ජාත්‍යන්තර සහය ඇතිව විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ, නිමල් පෙරේරා නමැත්තා පරස්පර ප්‍රකාශ සිදුකරන පුද්ගලයෙකු බැවින් ඔහුගේ සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවත්, චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්ය. කෙසේ වෙතත්, දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් වූ සහතිකය අභියෝගයට ලක්ව නොමැති බවත්, සාක්ෂිකරුවෙකුගේ විශ්වසනීයත්වය තීරණය කළ යුත්තේ පූර්ණ නඩු විභාගයකදී බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, එයාර්බස් සමාගම් නිලධාරීන් ලබාදුන් ප්‍රකාශවල සාක්ෂි සම්පිණ්ඩනයක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.
















