ඉරානය සහ ගල්ෆ් කලාපය ආශ්‍රිතව පවතින උග්‍ර යුදමය හා ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මෙරටට තාර (බිටුමින්) ආනයනය කිරීමට දැඩි බාධා එල්ල වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාල වීමේ බරපතළ අවදානමක් මතුව තිබේ. ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) පෙන්වා දෙන්නේ, 2026 අයවැය මගින් මාර්ග ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ප්‍රාග්ධන වියදමක් වෙන්කර තිබුණද, ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන තාර සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය නැවතත් දැඩි අර්බුදයකට තල්ලු වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාවේ තාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගනු ලබන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, එහි ප්‍රධාන සැපයුම්කරුවෙකු වන්නේ ඉරානයයි. පවතින සැපයුම් බිඳවැටීම හමුවේ ඉන්දුනීසියාව වැනි විකල්ප වෙළඳපොළවල් කෙරෙහි අවධානය යොමු කළ හැකි වුවද, ගෝලීය වශයෙන් මතුව ඇති හිඟය හේතුවෙන් විකල්ප මාර්ගවලින් තාර ආනයනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. දැනටමත් මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් මේ පිළිබඳ පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම සහ ව්‍යාපෘති ප්‍රමාද වීම ඉදිරි කාලය තුළ වැළැක්විය නොහැකි අභියෝගයක් බවට පත්ව ඇත.
















