ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 30 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 30 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය ඊයේ (06) පුත්තලම, ගඟේවාඩිය බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මාස හයක කාලසීමාවක් පුරා කුඩා යාත්‍රා මෙහෙයුම්, මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ කාර්යක්ෂම ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලැබූ නාවික හමුදා සාමාජිකයින් මෙලෙස අධිකාරියට පත් කෙරිණි.
උත්සව සභාව අමතමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා සඳහන් කළේ, පස්චාත් යුද සමයේ නාවික හමුදාවේ කාර්යභාරය ජාතික ආරක්ෂාවට පමණක් සීමා නොවී ජාතික සංවර්ධනය සහ ආපදා සහන සැලසීම දක්වා පුළුල් වී ඇති බවයි. විශේෂයෙන්ම පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වයේදී බලඝණය විසින් ඉටුකරන ලද සුවිශේෂී මානුෂීය මෙහෙවර සිහිපත් කළ ඒ මහතා, නව සාමාජිකයින්ගෙන්ද උසස් විනය, ධෛර්යය සහ කැපවීම අපේක්ෂා කරන බව පැවසීය. උත්සවයට සමගාමීව ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද යොදාගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සහ මුදාගැනීමේ විශේෂ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක්ද පැවැත්විණි.
මෙහිදී පුහුණු කාල සීමාව තුළ විශේෂ කුසලතා දැක්වූවන් වෙත සම්මාන පිරිනැමුණු අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නා සහ විශිෂ්ටතම පුහුණුවන්නා ලෙස ලුතිනන් අයි.ඩී.එල්.එස්. මධුවාස සම්මාන දිනාගත්තේය. ඊට අමතරව, දක්ෂතම ජීවිතාරක්ෂකයා ලෙස බල නැවි සී.කේ.ටී. චන්ද්‍රසේකර සහ හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු පුහුණුවන්නා ලෙස සාමාන්‍ය නැවි ඩී.එම්.ඊ.වී. දිසානායක සම්මාන ලැබූහ. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රණවිරු පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශයේ පාසල් දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.














