ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන **”Sri Lanka Expo 2027″** ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර විශේෂ හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබේ. එහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Airbus A321 Neo ගුවන් යානයක් “Sri Lanka Expo 2027” සන්නාම ලාංඡනයෙන් අලුතින් හැඩගැන්වීම පසුගියදා (සැප්තැම්බර් 07) සිදු කරන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන වෙළඳ සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය හරහා කෘෂිකර්මාන්තය, කාර්මික නිෂ්පාදන, අපනයන සේවා, නවෝත්පාදන සහ සංචාරක ක්ෂේත්‍ර පුළුල් ලෙස ප්‍රදර්ශනය කෙරේ.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, ව්‍යාපෘති ප්‍රධානි ඉදුමිණී කොඩිකාර, උපදේශක සම්බන්ධීකාරක අනෝමා ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ප්‍රදර්ශනය සඳහා ප්රමුඛ පෙළේ ප්‍රදර්ශකයින් 750කට අධික සංඛ්‍යාවක් සහ විදේශීය ගැනුම්කරුවන් හා ආයෝජකයින් 1,500කට වැඩි පිරිසක් අපේක්ෂා කෙරෙන අතර, ආයෝජන සංසද (Investment Forum), B2B රැස්වීම්, විලාසිතා දර්ශන සහ සංස්කෘතික සංදර්ශන රැසක්ද මෙයට ඇතුළත් වේ. නව සන්නාමයෙන් සැරසුණු Airbus A321 Neo ගුවන් යානය ඉන්දියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, කටාර්, මාලදිවයින, මලයාසියාව, කුවේටය සහ තායිලන්තය ඇතුළු කලාපයේ රටවල් වෙත ගමන් කරමින් මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කරනු ඇත.
මීට අමතරව, මෙම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන විදේශීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් වෙනුවෙන් පිරිමැසුම් පන්තියේ (Economy) ගුවන් ගාස්තු සඳහා 20%ක විශේෂ වට්ටමක් සහ ව්‍යාපාරික පන්තියේ (Business) ගුවන් ගාස්තු සඳහා 10%ක වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත.














