රුපියල් පන්කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහස පමණ වටිනා “කුෂ්” සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ මස් වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් අද (08) අලුයම බැංකොක් නුව සිට පැමිණ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී විටමින් බඳුන් 16ක සඟවා තිබූ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ‘මිදි තලපයක්’ ලෙස සකස් කර තිබූ ග්‍රෑම් 641ක ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.













