ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට තිබූ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව මෙරට ඇතැම් පුද්ගලයන් තායිලන්තයට ගොස් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (සැප්තැම්බර් 08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
තායිලන්තයේ සිට මෙරටට කුඩු සහ කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැනි සිදුවීම් රැසක් වාර්තා වීමත් සමඟ තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති අතර, එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට යාමට පෙර වීසා ලබාගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා දෙරට අතර නව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට සාකච්ඡා කර ඇති අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සකස් කෙරෙන මෙම ගිවිසුම හරහා නැවතත් එම වීසා පහසුකම ලබාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














