එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසඳය නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව තුළ මතු වී ඇති දේශපාලන හා නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ.
විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් හරහා දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක වීමක් පෙන්නුම් කරන බව ඔහු එහිදී පෙන්වා දී ඇත. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේ මහතා අඛණ්ඩව රඳවා තබා ගැනීම මෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් පිළිබඳව ද ජිනීවා මානව හිමිකම් මණ්ඩලය දැනුවත් කර ඇත.
තවද, බන්ධනාගාරවල පවතින අධික තදබදය, මාධ්‍යවේදීන් සහ විරුද්ධ අදහස් දරන්නන් ඉලක්ක කරගනිමින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව පිළිබඳ සක්‍රීය අධීක්ෂණයක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සහ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.














