නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවූ රුපියල් කෝටි 2කට අධික අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අංශභාර සැකකාරියන් දෙදෙනා ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ. ඊයේ (08) එම සැකකාරියන් ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති අතර, සිද්ධියේ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකාරියන් විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් 6 දෙනෙකුගේ බැංකු ගිණුම්වලටද වංචනික ලෙස මුදල් බැර කර ඇති බවයි. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තෂාරි තෙන්නකෝන් මහත්මියගේ දැනුම්දීම මත මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම ගුරුවරුන් 06 දෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මීට අමතරව, ප්‍රධාන සැකකාරියකගේ සහෝදරයෙකු වන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ සේවයද මේ වන විට අත්හිටුවා ඇත.













