ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර්බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වූ, මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මාර්ගයෙන් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැඩිදුර වාර්තාව ඉදිරිපත් කර ඇත. අදාළ දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා පෙරදින ලබාගත් අධිකරණ නියෝගය ඉකුත් අගෝස්තු මස 18 වැනිදා ඇමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කර ඇති බව පැමිණිල්ල අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් වීම හේතුවෙන්, එම වාර්තා කඩිනමින් අධිකරණයට යොමු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට සිහි කැඳවීමක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. ඒ අනුව, අදාළ නඩු විභාගය ලබන ඔක්තෝබර් මස 14 වැනි දින දක්වා කල් තබා ඇත.














