ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියැදුරා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සෙල්වනේෂන් ජේසුදාසන් නොහොත් ‘පලසු’ නැමැති මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුවේ 47 වන සැකකරු ලෙස නම් කර ඇති සැකකරු, මනා දැනුමක් ඇතිව ඉෂාරා සෙව්වන්දිව රටින් පිට කිරීමට කටයුතු කර ඇති බවත්, ඇයව ඉන්දියාවට ගොඩබැස්සීමෙන් පසු බෝට්ටුවේ සාක්ෂියක් වූ ජී.පී.එස්. (GPS) යන්ත්‍රය විනාශ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පිටවීමට මෙලෙස ආධාර කර ඇති ඔහු, ඉන්දියාවට යෑම සඳහා රුපියල් 50,000ක මුදලක් අය කර ඇති බවද අනාවරණය වී ඇත.













