හොරණ වගවත්ත කළු පහන පාසල අසලදී අධික වේගයෙන් සහ හිස් ආවරණ (හෙල්මට්) නොමැතිව ගමන් කළ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හොරණ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමෙන් පසු ජංගම යෙදුමක් ඔස්සේ ලබාගත් යතුරුපැදියකින් නිවස බලා යමින් සිටියදී ඊයේ (08) අලුයම 2ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි අයෙකි. සංගීත සංදර්ශනයෙන් පසු තවත් යහළුවෙකුගේ යතුරුපැදියක් සමඟ වේගයෙන් ගමන් කරමින් සිටියදී පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, රාත්‍රී කාලයේ සිදුවූ බැවින් කිසිවෙකුත් එය වහා දැක නොමැත. කෙසේ වෙතත්, උදෑසන කාලයේ මාර්ගයේ ගමන් කළ අයෙකු විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර, ඉදිරිපසින් ගමන් කළ අනෙක් යතුරුපැදිකරු ද මෙම අනතුර දැක ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














