පසුගිය වසරේ (2025) අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් 2,422 දෙනෙකු ඉදිරියේදී නැවත පදිංචි කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අනුමත කරන ලද ඉඩම්වල මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර, මේ වන විටත් පවුල් කිහිපයක් සඳහා ඉඩම් කැබලි 52ක් වෙන්කර දී ඉඩම් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. බුලත්කොහුපිටිය සහ යටියන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක නැවත පදිංචි කිරීම් අවසන් කර ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බැහැරව පදිංචි වීමට අවතැන් වූවන් 642 දෙදෙනෙකු කැමැත්ත පළ කර තිබේ. මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පෙන්වා දුන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අවතැන් වූ සංඛ්‍යාව 3,064ක් තරම් ඉහළ අගයක පවතින බවයි.














