ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ප්‍රකට පෞද්ගලික විධායක ජෙට් යානා නිෂ්පාදන සමාගමක් වන බොම්බාඩියර් (Bombardier Inc.) සමාගමෙන් නිෂ්පාදනය කරන ගුවන්යානා ඇමෙරිකාවට අලෙවි කිරීම තහනම් කරන බවට තර්ජනය කර ඇති පසුබිමක පවා, එම සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නව රැකියා 500ක් සඳහා ඇමෙරිකානුවන් බඳවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ලබන නොවැම්බර් මැද භාගයේදී ඉන්දියානා (Indiana) ප්‍රාන්තයේ ෆෝට් වේන්හි (Fort Wayne) විවෘත කිරීමට නියමිත නව සේවා මධ්‍යස්ථානය වෙනුවෙන් ද මෙම රැකියා ඇබෑර්තු වෙන්කර ඇත. දෙරට අතර උග්‍ර වෙළෙඳ යුද්ධයක් පවතින පසුබිමක සහ පසුගිය අඟහරුවාදා ඇමෙරිකාව විසින් කැනඩාවට එරෙහිව පනවන ලද නව තහංචිවලින් ද ගුවන්යානා නිෂ්පාදන ක්ෂේත්‍රය (Aerospace sector) නිදහස් කර ඇති බැවින්, බොම්බාඩියර් යානා ඇමෙරිකානු පාරිභෝගිකයන් වෙත තවදුරටත් සාර්ථකව බෙදාහැරීමට හැකියාව ලැබී තිබේ.














