අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ දෙවන කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම සමත් වූයේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය ලකුණු 125 ක විශිෂ්ට ජයග්‍රහණයකින් පරාජය කරමිනි. තරගයේ මුල් අදියරේදී රාජකීය කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 31 ක් ලෙස දැඩි පීඩනයකට ලක්ව සිටි මොහොතක, ඉදිරියට පැමිණි මනීෂ් විජේසුන්දර පන්දු 129 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 114 ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඕවර 50 කදී කඩුලු 7 කට ලකුණු 235 ක් දක්වා ඉහළ නංවාලීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය සර් ජෝන් කොතලාවල විද්‍යාලීය කණ්ඩායමට රාජකීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ ඕවර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිනුජ වෙල්ලහේවගේ ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳ හෙළමින් ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කළ අතර, දුල්නා නිම්නල් ද කඩුලු 2 ක් දවා ගනිමින් රාජකීය ජයග්‍රහණය තහවුරු කිරීමටපෙළගැසුණි.
මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ඉදිරියට පැවැත්වෙන අවසන් මහා තරගයේදී රාජකීය කණ්ඩායම වාද්දුව මධ්‍යම විද්‍යාලය සමඟින් ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය. පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රබල දස්කම් අතරට පිවිසෙමින් සිටින තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවෙන මෙම තරගාවලිය හමුවේ, රාජකීය ක්‍රීඩකයින්ගේ ඉදිරි ක්‍රියාකඩිනම සහ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේ අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නැංවීමට මෙම ජයග්‍රහණය විශාල රුකුලක් වනු ඇත.














