බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල බෙහෙත් බඩු වෙළඳසැලක් මුවාවෙන් තරුණයන් ඉලක්ක කර මදන මෝදක සහ මත්ගුලි අලෙවි කළ ජාවාරමක් බණ්ඩාරගම පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් වටලා තිබේ. සවස් කාලයේ මෙම වෙළඳසැල අසල තරුණයන් විශාල වශයෙන් ගැවසීම හේතුවෙන් ඇති වූ සැකය මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තරිඳු උදයංග මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු දින කිහිපයක් ආවේෂණ රාජකාරීවල නිරත වෙමින් මෙම වැටලීම සිදු කර ඇත.
එම අවස්ථාවේදී වෙළඳසැලට ගොස් මත්ගුලි මිලදී ගත් තරුණයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සාමාන්‍ය ඇඳුමින් සැරසී වෙළඳසැලට ඇතුළු වූ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිසිය බව නොදැන වෙළඳසැල් හිමිකරු ඔහුටද මත්ගුලි අලෙවි කිරීමට උත්සාහ කර ඇත. එහිදී වෙළඳසැල් හිමිකරු සහ මත්ගුලි මිලදී ගත් තරුණයන් අට දෙනා සමඟ වෙළඳසැල තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 350ක් බරැති මත්ගුලි තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














