රැඳවුම් භාරයේ සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ‘ශිරාන් බාසික්’ නමැත්තාගේ සමීපතමයෙකු වන රණතුංග ආරච්චිගේ නලින් අර්ජුන නමැත්තා නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් කෝටි 10ක් වටිනා දේපළ හා වත්කම් අත්හිටුවීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගෙන තිබේ. ඒ අනුව, අද (10) සිට ක්රියාත්මක වන පරිදි දින 14ක කාලයක් සඳහා අදාළ දේපළ විකිණීම, පැවරීම හෝ වෙනස් කිරීම වැළැක්වීම පිණිස මෙලෙස ක්රියා විරහිත කර ඇත.
මත්ද්රව්ය ජාවාරම් මුදලින් මිලදී ගෙන ඇති බවට තහවුරු වී ඇති කඩවත ප්රදේශයේ පිහිටි පර්චස් 19.90ක ඉඩම හා දෙමහල් නිවස මෙන්ම කැලණිය ප්රදේශයේ පිහිටි පර්චස් 18ක ඉඩම හා දෙමහල් නිවස මෙලෙස අත්හිටුවා තිබේ. මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර ක්රියා විරහිත කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අවශ්ය කටයුතු සිදු කරමින් පවතින බව නීති විරෝධී වත්කම් කොට්ඨාසය සඳහන් කරයි.














