කලාපයේ තවදුරටත් රැඳී සිටින අමෙරිකානු හමුදා භටයන්ට ප්‍රමාද වීමට පෙර සිය නිවෙස් වෙත ආපසු යන ලෙස ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි X ගිණුමේ සටහනක් තබමින් අනතුරු ඇඟවීමක් කර තිබේ. පර්සියානු බොක්කේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය කළමනාකරණය කිරීමට ඉරාන නාවික හමුදාවට පූර්ණ හැකියාව ඇති බව පෙන්වා දී ඇති ඔහු, අමෙරිකානු හමුදාවලට තම උපකරණ ආරක්ෂා කරගෙන දේශසීමාවෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇත.
මේ අතර, බටහිර ආසියාවේ දිගුකාලීන හමුදා පැවැත්මක් පවත්වාගෙන යාමට අමෙරිකාවට නොහැකි බවත්, කලාපයේ සිටින අමෙරිකානු හමුදා සාමාජිකයන්ගේ මානසික තත්ත්වය මෙන්ම ඔවුන් සතු ආයුධ සහ යුද නෞකා ද දැඩි පිරිහීමකට ලක්ව ඇති බවත් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














