ඉන්දියාවේ දමන් (Daman) දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනප්‍රිය SUV රථ හිමිකරුවන් වෙනුවෙන් එරට දිසාපතිවරයා විසින් අපූරු වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෑත කාලීනව ඇතැම් ප්‍රබල රථ සම්බන්ධයෙන් වාර්තා වූ රිය අනතුරු සහ අශෝභන රිය පැදවීම් හේතුවෙන් සමාජය තුළ ගොඩනැගී ඇති ඍණාත්මක ප්‍රතිරූපය වෙනස් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.
“Thar-Fortuner Sankalp Yatra” ලෙස නම් කර ඇති මෙම විශේෂ වැඩසටහන හරහා අදාළ වාහන හිමිකරුවන් ලවා මාර්ග ආරක්ෂණ ප්‍රතිඥාවක් ලබා ගැනීමට කටයුතු කර ඇත. වාහනයට වඩා රියදුරන්ගේ වගකීම් සහගත හැසිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, වැරදි සහගත රිය පැදවීම් හේතුවෙන් සමස්ත වාහන හිමිකරුවන්ට එල්ල වන චෝදනා නිවැරදි කරමින්, වගකීම් සහගත රිය පැදවීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට දමන් දිස්ත්‍රික් පරිපාලනය මෙමඟින් පියවර ගෙන තිබේ.
















