ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම හා විශාලතම ක්‍රීඩා එකතුව වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 40 වන සංස්කරණයේ පළමු අදියර තරග හෙට (11) දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙවර ක්‍රීඩා උළෙල අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර හෙට ආරම්භ වී ලබන බදාදා (15) දක්වා ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළ පරිදි, මෙවර පළමු අදියර යටතේ ජූඩෝ, වෙරළ වොලිබෝල්, මල්ලව පොර, රග්බී පාපන්දු, ජිම්නාස්ටික් සහ පිහිනුම් යන තරග විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව නාවලපිටිය, මීගමුව, බණ්ඩාරවෙල, පල්ලේකැලේ සහ කොළඹ යන ප්‍රදේශවල අදාළ තරග ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔං නැංවීම සඳහා මෙමඟින් පුළුල් අවකාශයක් සැලසී ඇත.














