ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි අලි අල්-තාහර් කඳු වැටියට යටින් පිහිටුවා තිබූ ප්‍රධාන පෙළේ හිස්බුල්ලා භූගත යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඉස්‍රායල් කට්ස් නිවේදනය කර තිබේ. මෙම මෙහෙයුම හරහා එම කලාපයේ ආරක්ෂක කලාපයක් තහවුරු කිරීමේ කටයුතු අවසන් වූ බවද ඔවුහු පෙන්වා දෙති.
ඊශ්‍රායල දේශසීමාවේ සිට කිලෝමීටර දහයක පමණ දුරකින් පිහිටි මෙම අලි අල්-තාහර් කඳු වැටිය, දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී දැඩි උණුසුම් මුහුණුවරක් ගත් ප්‍රදේශයකි. හිස්බුල්ලා සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ ඉදිකරන ලද කිලෝමීටරයකට වඩා දිගු මෙම භූගත උමං ජාලය තුළ ප්‍රධාන විධායක මධ්‍යස්ථාන, අවි ආයුධ ගබඩා, රොකට්, මිසයිල සහ ඩ්‍රෝන යානා රැසක් අඩංගු වී තිබූ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.
හිස්බුල්ලා සංවිධානය යළි එම ප්‍රදේශවල බලය තහවුරු කරගැනීම වැළැක්වීම සඳහා ඊශ්‍රායල හමුදා අදාළ කලාපය තුළ අඛණ්ඩව රඳවා තබා ගන්නා බව බලධාරීහු අවධාරණය කර සිටිති.














